ඇමරිකන් කුස්සි අම්මා ගේ දායාදය නොහොත් බ්ලොග් මැරතන්!

. 2008/03/28
15 comments

ඔන්න තවත් අලුත් දෙයක් අප හිස මත කඩා පාත් කිරීමට කවුරුන් ද සූදානම් වී සිටී. බ්ලොගතන් නොහොත් බ්ලොග් මැරතන් යනුවෙන් හඳුන්වන මෙහි අතුරු ප්‍රතිථල අළුත් අවුරුදු නිවාඩුවේ දවස් දෙකක් නාස්ති කිරීමටත් වඩා භයානක විය හැකිය. (පැය විසිහතරක් නිදි වැරීමෙන් ඔබේ ශරීරයයට වන හානියට අමතරව)
ඔබ බොහෝ දෙනෙක් දන්නා නොදන්නා පරිදි පිටරැටියන් (යුරෝපීයයන්, ඇමරිකානුවන් ආදිය) ජීවත් වන්නේ මහල් නිවාස සංකීර්ණ වල "ගාල් කල ෆාම් කුකුලන්" මෙන් වන අතර මොවුන් ගේ නිදහස් කාලය වෙළඳ පොල විසින් 100% ක්ම පාහේ ආක්‍රමණය කර ඇත. ශාරීරික ක්‍රියා කාරකම් වලින් නිරන්තරයෙන් ඈත් වෙමින් පවතින මෙම සමාජ වල උදාසීනත්වය යනු ප්‍රභල සමාජ ගැටලුවකි. රූපවාහිනිය, yahoo chat, play station, sudoku, ipod, යන වැලට එකතු වූ අලුත්ම දෙය blog විය.

සීත සෘතුව වන විට තව දුරටත් (ෆාම් කුකුල්ලු මෙන්) නිවෙස් වලට ගාල් වන වැඩි හරියක් දෙනා ගේ මනස පුරවා තැබීමට උපකාරි වන බ්ලොග් කරණය මැරතන් එකක් වන තුරු දියුණු වූයේ කෙසේ ද? මා විසින් සොයාගන්නා ලද විස්තර අනුව මෙයට මුල් වී ඇත්තේ Catherine Connor නැමති වයස අවුරුදු 50 ක පමණ ඇමරිකානු ගෘහණියකි. (මාගේ උපකල්පනය අනුව මේ කුස්සි අම්මා හට වෙනත් වැදගත් අරමුණක් නැත, ඇය ගේ ස්ථූල භාවය නිසා ඇය ගත කරන සමාජ ජීවිතය අමිහිරි වීමට ද මානසික පීඩා වලින් පෙළෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙය ආරම්භ කර ඇති බව ද පැහැදිලි ය)

ඉතින් මෙහි විහිළුව කුමක් ද? ඇමරිකාවේ සිටින කුස්සී අම්මා කෙනෙකුගේ මානසික ප්‍රශ්ණ වලින් මිදීමට ඇය පටන් ගත් බ්ලොග් මැරතන් ඉසව්ව අද ශ්‍රී ලංකාවේ සිටින ඇල දොළ ගහ කොල සමග ජීවත් වන බ්ලොග් කරුවන්ගේ හිස මතට අහසේ සිට අතහැර දමා ඇත.

මෙහි දුක හිතෙන පැත්ත කුමක්ද? ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල දමන අවිචාරවත් සමාජයක අප ජීවත් වෙන බවය.

ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

. 2008/03/23
0 comments

ගිනි රස්නය ඇති විට සිසිල් සෙවනැල්ලක, තැඹිලි ගෙඩියක/කොකා කෝලා එකක ඇති අගය අප හට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

ඔබ බොන්නේ තැඹිලි ද කොකා කෝලා ද යන එක ඔබගේම පෞද්ගලික තෝරා ගැනීමක් කියා ඔබ විශ්වාස කරයි නම්, එය නැවත සලකා බැලිය යුතු බව මගේ අදහසයි!

මෙවැනි තත්වයක් සිතෙන් මවා ගැනීමට උත්සහ කරන්න, බස් නැවතුම් පොළක ශ්‍රී ලාංකිකයෙක් සිටී, අසල ඇති ගසක සෙවනැල්ල පාරට වැටී ඇති අතර බස් නැවතුම් පොළේ සිටින සුද්දෙකුගේ ද සෙවනැල්ල පාරට වැටී ඇති නම් බොහෝ විට මගියා (ශ්‍රී ලාංකිකයා) ප්‍රිය කරන්නේ සුද්දාගේ සෙවනැල්ල යටට වී සිටීමටය.

පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ලකුනු කරන විට ටයි පටිය පළඳින්නන් සුලභ දර්ශණයකි. එසේ වීමට හේතුව එවැනි අවස්ථාවලදී මොවුන් සුද්දාගේ සෙවනැල්ල සිතින් මවා ගනිමින්, එම සෙවනැල්ලේ අනුහසින්, ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටක දේශ ගුණයට පවා අභියෝග කිරීමට තරම් නිර්භීත වීමය.

මම කවුරුන්ද, මට පෙර ජීවත් වූවන් කවුරුන්ද, මම පය ගසා සිටින පොලවේ මට පෙර පය තබා ඇවිද්දේ කව්ද, මා නියෝජනය කරන්නේ කුමක්ද/කාවද, මගේ ඇඳුම් පැළඳුම් හැසිරීම් වෙනස් කිරීමෙන් මට මා නොවන යමක් නියෝජනය කල හැකිද? උසස් ව්‍යවහාර යනු මොනවාද, ස්වභාවයට පිටින් යෑමට උත්සහ කිරීමෙන් මට ශිෂ්ඨ විය හැකිද?

මෙයට එක් පිළිතුරක් නම්,
මා කව්ද කියා මම නොදන්නේ නම්, මා හරකෙක් යැයි ඔබ කීවොත් එය මට පිළිගැනීමට සිදු නොවේද? යන ප්‍රශ්ණය මා මගෙන්ම අසා ගැනීමය.

එසේ නම්, ඔබ ප්‍රිය කරන සෙවනැල්ල කුමක්ද?

උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ!

. 2008/03/22
1 comments

එස්. මහින්ද හිමි විසින් රචිත කවියක කොටසක් අද ටිබෙටයට හා චීනයට අතර මැදිවී සිටින ජාත්‍යාන්තර ප්‍රජාවගේ තත්වය මනා ලෙස නිරූපණය කෙරේ.

නිවටයා යන සංකල්පය බොහෝ සංස්කෘතීන් විසින් නොහඳුනයි. නිවටයන්ගේ ලක්ෂණයක් මහින්ද හිමියන් විසින් මෙසේ කවියට නගයි...

<<
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
>>


චීනය ලෝක ආර්ථිකය තුල බලවතෙකු වීමේ හේතුවෙන් චීනයට එරෙහි වීමට යෑමෙන් තම තමන්ගේ රටවල් වල ආර්ථිකයන් හට ඉන් විය හැකි බලපෑම් ගණනය කරන "යමෙකු විසින් සිවිල් සමාජ ලෙස හැඳින්විය හැකි" මෙකී නොකී රටවල් අද ඇස් වසාගෙන සිටින්නේ, "----- දෙනවද? වෙඩි කනවද?" වැනි තත්වයකදී, වෙඩි නොකෑමට තෝරා ගත්තාක් මෙනි.

දලයි ලාමා ගේ මෑත යුරෝපා සංචාරය අවස්ථාවේ යුරෝපීය රටවල දේශපාලනිකයන් එතුමා බැහැ දැකීමෙන් වැලකී සිටීම මෙයට හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැක.

ජීවත් වෙන්න!

. 2008/03/20
4 comments

රූපවාහිනීයට ඔබේ ජීවිතය පාලනය කල හැකි බව ඔබ දන්නවාද? ඔබ සිතන පතන ආකාරයේ පවා ඉතා පැහැදිලි වෙනස්කම් ඇති කල හැකි ප්‍රභල ජන මාධ්‍යයක් වන "යකාගේ පෙට්ටිය" (idiot box or the boobtube) විසින් සිදුවන සේවයට වඩා හානිය අති මහත්‍ ය.

අප රටේ රූපවාහිනී මාධ්‍යයෙහි පැහැදිලි වැටීමක්, ගුණාත්මක අගය නැතිවීමක් දක්නට ලැබෙන්නේ ජාතික රූපවාහිනිය හා තරඟ කිරීමට සමත් ගුණාත්මක අගයෙන් යුතු වැඩසටහන් නිෂ්පාදනය කිරීමට ස්වධීන රූපවාහිනීය (ITN Sri Lanka) අසමත් වීමත්, එම අඩුව පිරිමසා ගැනීමට කෝපි කඩය වැනි දේශීය නිෂ්පාදනත්, ප්‍රේක්ෂකයා පාරිභෝගිකයා බවට පරිවර්තනය කිරීම අරමුණු කරගනිමින් නිෂ්පාදනය කරන, ආනයනය කරන ලද වැඩසටහන් විකාශයනය කිරීමට පටන් ගැනීමට පටන් ගැනීමත් සමග වේ. මෙයට ප්‍රති උත්තර ලෙස ජාතික රූපවාහිනිය ගන්නා ක්‍රියා මර්ගය නම්, ස්වධීන රූපවහිනියටත් වඩා හොඳින් එවැනි හරසුන් නිෂ්පාදන විකාෂනය කිරීමට පටන් ගැනීමයි.

අලි මදිවට හරක් කිව්වා සේ...

සිරස!
"මහා භාරතයේ" කුල පීඩනයෙන්, දරිද්‍රතාවයෙන්, සහ සියල්ලටම වඩා නූගත් කමින් (අප රටේ වැඩිහිටියන්ගේ සාක්ෂරතාවය 92.1% වන විට ඉන්දියාවේ වැඩිහිටියන්ගේ එය 61.3% කි, අප රටේ තරුණයන්ගේ 97% ක් වන විට ඉන්දියාවේ තරුණයන්ගේ සාක්ෂරතවය 73.3% ක් බව අමතක නොකරමු. // ප්‍රභවය - http://en.wikipedia.org/wiki/Literacy_in_India, තවද ගවයා දේවත්වයෙන් සලකන එකම රට බවද සිහියේ තබා ගමු) තැලී පොඩිවී හීනමානයෙන්, මානසික පීඩනයෙන් ජීවත් වෙමින් ඊට සහනයක් සොයමින් අනුන්ගේ සිහින තුල ජීවත් වන ප්‍රේක්ෂකයා ලංකා බිමේ ඉපැද්දවීම මූලික අරමුණ (යටි අරමුණ - ශ්‍රී ලංකා ආනයන වෙළඳ පොළ තුල ඉන්දීය නිෂ්පාදනයන් හට ඉඩකඩ තහවුරු කිරීම) කරගනිමින් ශ්‍රී ලංකා ගුවනට මුසුවූ ගුණාත්මක සහ අධ්‍යාපනික රූපවාහිනී කලාවේ මළ බෙර හඬ සිරසයි.

අද දවස වන විට අපට ඉතිරි වී ඇත්තේ මෙසේ විනාශ වී ගිය මාධ්‍ය ව්‍යාපාරයකි.

නෙස්ටමෝල්ට් කෝප්පයක් ලඟ තබාගෙන ප්‍රවෘත්ති කීමට තරම් පහත් තත්වයට ඇද වැටුනේ පෙර දිනයක සර්පයෙකු දෂ්ඨ කළ විට ප්‍රථමාධාර දීම අපට කියාදුන් රූපවාහිනියයි.

ප්‍රේක්ෂකයා හට සිහින ලෝකයක සිට අත දිගු කරන රූපවාහිනී නාලිකාවන් ඇත්ත ජීවිතයේ අභියෝග හමුවේ එම අත් හකුලා ගනී.

වෙළඳ දැන්වීම් හරහා ලාභ උපයන රූපවාහිනි සමාගම් වැඩි ප්‍රෙක්ෂකයන් පිරිසක් රඳවා ගැනීමට හැකි වැඩසටහන් නිර්මාණය/අනුකරනය කිරීමත් එම ප්‍රෙක්ෂකයන් වෙළඳ දැන්වීම් තුලින් පොළඹවමින් ගැනුම් කරුවන් බවට පත් කිරීම්ත් සිදුකරයි. උදාහරණ ලෙස රාත්‍රී ආහාර වෙලාව යනු වැඩිම ප්‍රෙක්ෂකයන් පිරිසක් ඉලක්ක කර ගත හැකි හෝරාවක් වන අතර ඉහත සඳහන් කල නෙස්ටමෝල්ට් කෝප්පය එවැන්නකි.

පසුගිය දශක දෙක තුල, රූපවාහිනිය සහ කුඩා දරුවන්ගේ හැසීරීම පිළිබඳව කර ඇති අධ්‍යයන තුලින් තහවුරු වී ඇත්තේ දරුවන්ගේ පෞරුෂය වර්ධනයට සෘණාත්මක බලපෑමක් රූපවාහිනිය ඇති කරන බවයි.

කාන්තාවන් හිරිහැර සහ හිංසාවේ ගොදුරු බව පෙන්වීම සුලභ මාධ්‍ය උපායක් වන අතර මෙය හේතු කොටගෙන ගැහැණු දරුවන් සමාජය දෙස කලකිරීමෙන් සහ බියෙන් යුතුව බැලීමට පුරුදු විය හැක. සමහර කාටූන් වැඩ සටහන් විසින් හිංසාව විහිළුවට ලක් කර සැහැල්ලු කර පෙන්වීම නිසා හිංසාව සහ වෛරය වැනි සංකල්ප වගා කිරීමට දරුවන් පෙළඹිය හැකිය.

ඇස් ඇර බලන්න, ඔබේ ජීවිතය තුල ඔබේ සිහින වලට ඉඩ තබා ගන්න.