කඩේයන්නන්,බත්බැලයන් සහ වේසාවන්

. 2008/04/24
3 comments

ඉහත වචනයන්ගේ අරුත් පිළිබඳ කාලීන විග්‍රහයක්.......

කඩේ යන්නන්/කඩේ කොලුවන්
තමා කරන කාරය්‍ය ගැන වැඩි වටැහීමක් නැත. බරක් පතලක් නොදැනේ. තමාට වඩා බලවන්තයෙක් ඉදිරියේ එකත්පස්ව සිටිමින් විමසුම් බුද්ධිය නොමෙහයවා කටයුතු කරති. ආත්මාභිමානය හීනයන් ය. ස්වාමි ලැදි මොවුන්ගේ සිතුම් පැතුම් පාලනය කිරීම තුලින් මොවුන්ව තම ප්‍රයෝජනයට ගත හැක. බුදිධි හීනයන් නොවේ. පෞරුෂය හීනයන් ය.

බත්බැලයන්
තම බඩගෝස්තරය හරි කරගැනීම පිණිස ආත්මාභිමානය පාවා දෙන්නන්‍ ය. කඩේයන්නන් හට වඩා බුද්ධිය මෝරා ඇති මුත් පහසුවෙන් බුද්ධිශෝධනයකට ලක් කල හැක්කන් ය. බොහෝ විට පොතේ උගතුන් ය.

පහත ලක්ෂණ සැලකිල්ලට ගත් යමෙක් හට මොවුන් තම පාලනයට නතු කරගැනීම ඉතා පහසුය.

  1. දෙබිඩි චරිත සහිත වීම (විශේෂ ලක්ෂණයක් වේ)
  2. දෙලොවක ජීවත් වන්නන් වීම
  3. 'අක්‍රීය යෝජනාකිරීම' තුලින් මනස මෙහෙවිය හැකිබැවින් රූකඩයක් මෙන් පාලනය කිරීමට ඇති හැකියාව
  4. අභියෝගාත්මක පෞරුෂයක් නොමැති වීම
  5. ආත්මාභිමානය ගැන ඇති නොවැටහීම

මොවුන් ගේ ඇති විශේෂ ලක්ෂණයක් වන දෙබිඩි චරිත සහිත වීම ප්‍රයෝජනයට ගනිමින් මොවුන්ව සමාජය තුලට පහසුවෙන් කාවැද්දිය හැකි වීමත් එතුලින් තම යටි අරමුණු ඉටුකරගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වීමත් විශේෂ ය.

වේසාවන්

තමා කරන කාර්ය්‍ය ගැන මනා අවබොධයකින් යුතුව ද, තම පෞද්ගලික වාසිය පිණිස ඕනෑම තුච්ඡ කටයුත්තක් ඉටු කිරීමට ද නොපසුබට වන යමෙක් ඇත් ද, මොවුන් ය. ආත්මාභිමානයෙන් තොරය, දෙබිඩි චරිත සහිත වන්නන් නමුත් බත්බැලයන් හට වඩා ඒ පිළිබඳ ව සවිඥාණික ය.

අදීනයන්/දීනයන්

. 2008/04/19
3 comments

අදීන!

යන මිහිරි වදනත් එහි පසුබිමත් ලංකා පොළවේ ඉපදුණු කිසිවකුටත් ආගන්තුක නොවන බව නිසැකය. නමුත් කරුණු කාරණා යෙදී ඇති රටාවන් සලකා එගැන යම් සටහනක් තැබීමට සිත් විය.

එමෙන්ම අදීන/දීන චර්‍යා සොබාදහම විසින් සත්වයන්ගේ ජාන තුල සලකුණු කර ඇති බව දකිමි. ඒක පුද්ගල හෝ ගෝත්‍රික(සාමුහික/සමාජයීය) හැසිරීම් තීරණය කරණ මෙම මරු කපොලු ඒ ඒ වර්ගයා මේ පොළවේ දැරිය යුතු නොදැරිය යතු බලතලයන් ආධිපත්‍යයන් තීරණය කරනා ආකාරය ද පුදුමය දනවයි.

කූඩුවක ඇති කල ගිරවෙකු නැවත වනගත කල නොහැකි මෙන් වැඩිමහල් පරම්පරාවේ වහරෙන් ඉගෙනගත යුතු දේ ඉගෙනීමට අවකාශයක් නොලැබ හැදෙන්නන් ගේඅවසානය ලියවී ඇත. මෙය භෞතික මට්ටමින් හෝ මතවාදි මට්ටමින් විය හැක. මාගේ අරමුණ එය මතවාදි මට්ටමින් සිදුවන බව පෙන්වා දීමත් එය ස්වභාවය බව පෙන්වා දීමත් වේ. එනම් දීනයන් යනු සොබාදහමේ කොටසකි, එයට පෙර එය භෞතික ව සිදුවන අයුරු මෙසේ දක්වමි.

සිදුවීම >> නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පැමිණෙන ඉදිකරන්නන් පිරිසක් වන පෙදෙස එලිපෙහෙලි කරන විට එම වනයෙහි සිටි රිලවුන් රංචුවක සිටි වැඩිමහල් පිරිමි රිලවුන් මරා දැමීමෙන් අනතුරුව කණ්ඩායම මෙහෙය වීමට නායකයකු නොමැති කමින්ද, නායකත්වයට සුදුසු වැඩිමහල් පිරිමි රිලවුන් නොමැති වීමද නිසා දිවියන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වන අන්දමද රැල හිටි සංඛ්‍යාවෙන් අඩක් දක්වා අඩුවන අන්දමද අවසානයේ රිලවියක විසින් නායකත්වය ගැනීමද එම විෂමතාවය නිසා රැල බිඳී විසිරෙන ආකාරයද දුටුවෙමි

භෞතිකව මෙසේ සිදුවන විට මෙකී ක්‍රියා දාමය මතවාදිව ද සිදුවේ. දැනුම විසින් ලොව පාලනය කරන අද දවසේ දැනුම වෙළඳාම් කිරීම සහ තම දැනුමේ අනුගාමිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම තුලින් තම මතවාදයට වැඩි ඉඩක් බලයක් ලබාගැනීමද යනු ලොකු එකා විසින් පොඩි ගිල දැමීමේ වර්තමානයයි. එනම් බලවත් මතවාද දුබල මතවාද පාගා දමා නැගී සිටීමද බලවත් සංස්කෘතීන් දුබල සංස්කෘතීන් අකා මකා දැමීම ද වේ.

රැලේ නායකයා (බලවතා/ශක්තිවන්තයා) ගැහැනු සතුන් වැඩිම පිරිසක් සමඟ සංසර්ගයේ යෙදෙමින් තම බීජය වපුරන්නාක් මෙන් බලවත් මතවාද/සංස්කෘතීන් ලොව පැතිරේ. (ලාම්පුව අල්ලන්නන් ගැන කතා කරමු, පසුව) වෙනස්වීමේ ස්වභාවය සහ ඊට ඇති ප්‍රතිවිරෝධය යනු අඳුර සහ එලිය මෙනි.

දීන!
තම මතවාදයට/සංස්කෘතියට වඩා බලවත් හෝ වෙනස් මතවාදයක්/සංස්කෘතියක් ඉදිරිපිට බලු නගුටක් සේ යටහත් පහත් වීම දීන වීමයි. උදා - රෙද්ද අස්සෙ මහත්තයා. එනම්, කලිසම් අඳින්නන් මහත්මා ගති ඇතිවුන් සේ අවිඥාණිකව දැකීම, අවිඥාණිකව ඔවුන් අනුකරණය කිරීම ආදිය.... (ගෑරුප්පුවෙන් කොස් ඇට බුදීමට යෑම)
සංස්කෘතියක සහ එය ජනනය වූ පරිසරයේ ඇති බැඳීම පෙකණිවැල සහ කළලය අතර ඇති බැඳීමට නොදෙවෙනි වේ. අළුත් අවුරුද්ද (අපේ අළුත් අවුරුද්ද) සහ අස්වනු නෙලීම අතර ඇති සම්බන්ධය මෙයට කදිම උදාහරණයකි.

අදීන වීම යනු තම පැවැත්ම ආරක්ෂා කරගැනීම හා සම්බන්ධ ගැටළුවකි. එනම් යම් පරිසරයකට අනුකූලව ජීවත් වීමේ ධර්මතාවයක් නීති මාලාවක් පිළිපැදීම සහ ආරක්ෂා කිරීම වේ. නායක රිලවා විසින් තම රැල ආරක්ෂා කිරීමත් උගේ මරණය රැලේ විනාශය කැඳවූ හැටිත් නැවත නිරීක්ෂණය කල විට සොබාදහම විසින් නිශ්චිත වූ කාර්‍යයක්, රටාවක් සහ පිළිවෙලක් යනුවෙන් තීරණය කර ඇති බොහෝ දේ අපගේ සංස්කෘතික අංග ලෙස අප හඳුනාගනිමු. එමෙන්ම මතවාදි තලයේදි දීනයන් නොහොත් අවිඥාණිකව අනුකරණය කරන්නන් සහ ජීවත් වන පරිසරය අතර ඇති නොගැලපීම විසින් මොවුන් මතවාදී තලයෙන් අතුගෑවි යෑම, විකටයන් හෝ රූකඩයන් බවට පත්වීම (ලංකාවේ ටයි පටි පළඳින්නන්) වැනි දේ සිදු වේ. මෙයට හේතුව සෑම සංස්කෘතියක් ම ඊට ආවේනික වූ දැනුමක් රැස්කරගෙන ඇති නම්, ඒ ස්වභාවධර්මය විසින් දෙන ලද දැනුම සංකල්පගත කිරීමෙනි. පොදුවේ ගෝලිය සංස්කෘතියකුත්, කලාපීය සංස්කෘතියකුත් රටකටම ආවේනික වූ සංස්කෘතියකුත් වශයෙන් වෙනස් වන්නේ ඉහත කී ස්වභාවධර්මයට අනුකූලව ගලපාගත් දැනුමයි.

සත්ව රැලක නායකයා රැලේ සියලුම ගැහැණුසතුන් සමග සංසර්ගයේ යෙදෙන විට, රැලේ අන් පිරිමි සතුන් හට එම වරප්‍රසාදය අහිමි වේ. යමෙකු නායකයාට අභියෝග කොට රැලේ නායකයා වී කලින් නායකයා විඳි වරප්‍රසාද බුක්තිවිඳින විට තවකෙක් හට එම පෙළඹවීම ඇති නොවේ. එයට හේතුව ස්වභාවිකව එම සත්වයාගේ පැවැත්මට තිත වැටී තිබීමයි. එනම් ස්වභාවික වරණයයි.

භාෂාව ටින්කරින් කල යුතු ද?

. 2008/04/04
3 comments

<<කවුරුන් හෝ මෙම ලිපියේ ඇති නණලළ විෂමතා උලුප්පා දක්වන්නේ හුදෙක් මඩ පිණිස වේ නම්, එය මා අවසානයටම බලාපොරොත්තුවන බාධකය වේ>>

"නාමල්ගේ ලෝකය" හි පලවූ සටහනක් දිටීමෙන් මෙම වැකි කීපය එක් කිරීමට සිත්වුනි.

මිනිස් ඇසට පෙනෙන වර්ණ පරාසයක් තිබේ, මිනිස් කණට ඇසෙන ශබ්ද පරාසයක් ද තිබේ. ස්වර සංකලනයන්ගෙන් පොහොසත් සිංහල වැනි භාෂාවක වචනයක් ඉංගිරිසි වැනි ස්වරසංකලනයන්ගෙන් දුප්පත් භාෂාවකින් ලිවීම අපහසුය. ස්වරයක් ඒ ආකාරයෙන්ම ලේඛණ ගත කිරීමේ අති සියුම් තාක්ෂණිකත්වයක් සිංහලයේ ඇත.

ඉංගිරිසිය නම්‍යශීලි යැයි යමෙකු තර්ක කල හැකිය. ඕනෑම භාෂාවක් නම්‍යශීලි වන්නේ ඊටම ආවෙනික වූ ආකාරයකට ය. සුද්දාගේ භාෂාව මෙසේ යැයි කියා අප අපේ භාෂාව "ටින්කරින්" කරන්න ගියහොත් සිදු වන්නේ අර කාටදෝ වුනා යැයි කිවු දේට සමාන දෙයකි.

චීනා ට "ර" යන්න හරහට ඇත. සුද්දාට ඇලපිල්ල හරහට ඇත. අපිට කිසිවක් හරහට නැත. දිව හරවා ඕනෑම ශබ්දයක් උච්චාරණය කිරීමේ භාග්‍යය ලාංකීය දූ පුතුන්ට ලැබී ඇත. වැස්ස හිඟ කලට කුඹුරු කරන්නේ වැව් දියෙනි. සිංහල සාහිත්‍යයට වැස්ස හිඟ මෙවැනි යුග වල අහස සරණ ගිජුලිහිනියන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුය.

මෝඩයාගේ දිනය සමරමු!

. 2008/04/01
0 comments

දින දසුනේ දින ගණන මදි වී ඇති වෙළෙන්දන් මොකක් හෝ දෙයක් මිලදී ගැනීමේ උවමනාව ඇති කිරීම සඳහා වෙන් කර ඇති දින වලට වඩා වෙනස් විදියකට ගත කල හැකි දිනක් වේ නම් ඒ මෝඩයාගේ දවසයි.
මෝඩයාගේ දවස අප සැම දෙනාම පාහේ සිහියේ තබා ගත යුතු වන්නේ මෝඩයාට දවසක් නැති බැවිනි. වසර 2000 ලබන මොහොතේ (31/12/1999) සිරස විසින් අප අතට පහනක් දී සාමය ප්‍රාර්ථනා කිරීමට "අණ" කරන ලදි. නමුත් ඉන් උදාවූ සාමයක් නැත. (මෝඩයාගේ දවස සිහියේ තබා ගෙන සිටියා නම් මෙවැනි දේ සිදු වීම වලකා ගත හැකිව තිබුනි)
කන්ද උඩරට ගිවිසුම ඔස්සේ සුද්දා සහ සුද්දට පු.. දුන් රදළයා අප රට යුද්ධයකින් තොරව යටත් කරගතේ සිරස "මහා භාරතයේ" සිට කඩාපාත් වීමට බොහෝ කලකට පෙරය.
ඇස් ඇරගෙන නිදා ගත යුතු කාලය පැමිණ ඇත්තේ, අද දිනයේත් දොන් ජුවම් ධර්මපාල ලා මෝඩයාගේ දවස එක් දිනකට සීමා කර නැති බැවිනි. ලොකු එකා පොඩි එකාව ගිලීම අද ක්‍රියාත්මක වන්නේ ගොනාට අන්දා බඩ ගෝස්තරය සොයා ගැනීම ලෙසිනි. සිහියෙන් නොසිටියොත් සිදුවන්නේ ගොනාට ඇඳ ගැනීමටයි.
පසුගිය දිනවල සිදුවූ පිරමිඩ වංචාවේ නියෝජිතයන් යනු ඔබවත් මාවත් ගොනාට අන්දා බඩ ගෝස්තරය හරි කරගත්තන් ය.

අසත්‍ය ප්‍රකාශ නොකිරීම යනු පාර්ශික සත්‍ය ප්‍රකාශ කිරීම නොවන බව තේරුම් ගත යුතු වේ.