අදීනයන්/දීනයන්

. 2008/04/19

අදීන!

යන මිහිරි වදනත් එහි පසුබිමත් ලංකා පොළවේ ඉපදුණු කිසිවකුටත් ආගන්තුක නොවන බව නිසැකය. නමුත් කරුණු කාරණා යෙදී ඇති රටාවන් සලකා එගැන යම් සටහනක් තැබීමට සිත් විය.

එමෙන්ම අදීන/දීන චර්‍යා සොබාදහම විසින් සත්වයන්ගේ ජාන තුල සලකුණු කර ඇති බව දකිමි. ඒක පුද්ගල හෝ ගෝත්‍රික(සාමුහික/සමාජයීය) හැසිරීම් තීරණය කරණ මෙම මරු කපොලු ඒ ඒ වර්ගයා මේ පොළවේ දැරිය යුතු නොදැරිය යතු බලතලයන් ආධිපත්‍යයන් තීරණය කරනා ආකාරය ද පුදුමය දනවයි.

කූඩුවක ඇති කල ගිරවෙකු නැවත වනගත කල නොහැකි මෙන් වැඩිමහල් පරම්පරාවේ වහරෙන් ඉගෙනගත යුතු දේ ඉගෙනීමට අවකාශයක් නොලැබ හැදෙන්නන් ගේඅවසානය ලියවී ඇත. මෙය භෞතික මට්ටමින් හෝ මතවාදි මට්ටමින් විය හැක. මාගේ අරමුණ එය මතවාදි මට්ටමින් සිදුවන බව පෙන්වා දීමත් එය ස්වභාවය බව පෙන්වා දීමත් වේ. එනම් දීනයන් යනු සොබාදහමේ කොටසකි, එයට පෙර එය භෞතික ව සිදුවන අයුරු මෙසේ දක්වමි.

සිදුවීම >> නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පැමිණෙන ඉදිකරන්නන් පිරිසක් වන පෙදෙස එලිපෙහෙලි කරන විට එම වනයෙහි සිටි රිලවුන් රංචුවක සිටි වැඩිමහල් පිරිමි රිලවුන් මරා දැමීමෙන් අනතුරුව කණ්ඩායම මෙහෙය වීමට නායකයකු නොමැති කමින්ද, නායකත්වයට සුදුසු වැඩිමහල් පිරිමි රිලවුන් නොමැති වීමද නිසා දිවියන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වන අන්දමද රැල හිටි සංඛ්‍යාවෙන් අඩක් දක්වා අඩුවන අන්දමද අවසානයේ රිලවියක විසින් නායකත්වය ගැනීමද එම විෂමතාවය නිසා රැල බිඳී විසිරෙන ආකාරයද දුටුවෙමි

භෞතිකව මෙසේ සිදුවන විට මෙකී ක්‍රියා දාමය මතවාදිව ද සිදුවේ. දැනුම විසින් ලොව පාලනය කරන අද දවසේ දැනුම වෙළඳාම් කිරීම සහ තම දැනුමේ අනුගාමිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම තුලින් තම මතවාදයට වැඩි ඉඩක් බලයක් ලබාගැනීමද යනු ලොකු එකා විසින් පොඩි ගිල දැමීමේ වර්තමානයයි. එනම් බලවත් මතවාද දුබල මතවාද පාගා දමා නැගී සිටීමද බලවත් සංස්කෘතීන් දුබල සංස්කෘතීන් අකා මකා දැමීම ද වේ.

රැලේ නායකයා (බලවතා/ශක්තිවන්තයා) ගැහැනු සතුන් වැඩිම පිරිසක් සමඟ සංසර්ගයේ යෙදෙමින් තම බීජය වපුරන්නාක් මෙන් බලවත් මතවාද/සංස්කෘතීන් ලොව පැතිරේ. (ලාම්පුව අල්ලන්නන් ගැන කතා කරමු, පසුව) වෙනස්වීමේ ස්වභාවය සහ ඊට ඇති ප්‍රතිවිරෝධය යනු අඳුර සහ එලිය මෙනි.

දීන!
තම මතවාදයට/සංස්කෘතියට වඩා බලවත් හෝ වෙනස් මතවාදයක්/සංස්කෘතියක් ඉදිරිපිට බලු නගුටක් සේ යටහත් පහත් වීම දීන වීමයි. උදා - රෙද්ද අස්සෙ මහත්තයා. එනම්, කලිසම් අඳින්නන් මහත්මා ගති ඇතිවුන් සේ අවිඥාණිකව දැකීම, අවිඥාණිකව ඔවුන් අනුකරණය කිරීම ආදිය.... (ගෑරුප්පුවෙන් කොස් ඇට බුදීමට යෑම)
සංස්කෘතියක සහ එය ජනනය වූ පරිසරයේ ඇති බැඳීම පෙකණිවැල සහ කළලය අතර ඇති බැඳීමට නොදෙවෙනි වේ. අළුත් අවුරුද්ද (අපේ අළුත් අවුරුද්ද) සහ අස්වනු නෙලීම අතර ඇති සම්බන්ධය මෙයට කදිම උදාහරණයකි.

අදීන වීම යනු තම පැවැත්ම ආරක්ෂා කරගැනීම හා සම්බන්ධ ගැටළුවකි. එනම් යම් පරිසරයකට අනුකූලව ජීවත් වීමේ ධර්මතාවයක් නීති මාලාවක් පිළිපැදීම සහ ආරක්ෂා කිරීම වේ. නායක රිලවා විසින් තම රැල ආරක්ෂා කිරීමත් උගේ මරණය රැලේ විනාශය කැඳවූ හැටිත් නැවත නිරීක්ෂණය කල විට සොබාදහම විසින් නිශ්චිත වූ කාර්‍යයක්, රටාවක් සහ පිළිවෙලක් යනුවෙන් තීරණය කර ඇති බොහෝ දේ අපගේ සංස්කෘතික අංග ලෙස අප හඳුනාගනිමු. එමෙන්ම මතවාදි තලයේදි දීනයන් නොහොත් අවිඥාණිකව අනුකරණය කරන්නන් සහ ජීවත් වන පරිසරය අතර ඇති නොගැලපීම විසින් මොවුන් මතවාදී තලයෙන් අතුගෑවි යෑම, විකටයන් හෝ රූකඩයන් බවට පත්වීම (ලංකාවේ ටයි පටි පළඳින්නන්) වැනි දේ සිදු වේ. මෙයට හේතුව සෑම සංස්කෘතියක් ම ඊට ආවේනික වූ දැනුමක් රැස්කරගෙන ඇති නම්, ඒ ස්වභාවධර්මය විසින් දෙන ලද දැනුම සංකල්පගත කිරීමෙනි. පොදුවේ ගෝලිය සංස්කෘතියකුත්, කලාපීය සංස්කෘතියකුත් රටකටම ආවේනික වූ සංස්කෘතියකුත් වශයෙන් වෙනස් වන්නේ ඉහත කී ස්වභාවධර්මයට අනුකූලව ගලපාගත් දැනුමයි.

සත්ව රැලක නායකයා රැලේ සියලුම ගැහැණුසතුන් සමග සංසර්ගයේ යෙදෙන විට, රැලේ අන් පිරිමි සතුන් හට එම වරප්‍රසාදය අහිමි වේ. යමෙකු නායකයාට අභියෝග කොට රැලේ නායකයා වී කලින් නායකයා විඳි වරප්‍රසාද බුක්තිවිඳින විට තවකෙක් හට එම පෙළඹවීම ඇති නොවේ. එයට හේතුව ස්වභාවිකව එම සත්වයාගේ පැවැත්මට තිත වැටී තිබීමයි. එනම් ස්වභාවික වරණයයි.

3 comments:

Anonymous said...

ලංකාවේ ඉන්න ඊනියා හැම වාදියෙකුම කොදෙව් මානසිකත්වයෙන් කොටුවෙව්ච ලිං මැඩියො. ඔහේත් ඉන් එකෙක් පමණයි.

ඔහේ said...

ප්‍රතිචාරයට ස්තූති වන්ත වෙමි.
කොදෙව්වක ජීවත් වන මට කොදෙව් මානසිකත්වයක් තිබීම ලැජ්ජා වීමට කාරණයක් නොවේ. ඉන්දීය කොදෙව්වන්ටත් කොදෙව් මානසිකත්වයක් තිබෙන බව විශ්වාස කරමි.
එමෙන්ම ඔබ කියනා ආකාරයේ කොදෙව්වෙන් ඔබ්බට ගිය වඩා සම්පූර්ණ (ලිඳෙන් ගොඩ ආ මැඩි මානසිකත්වය) විචිත්‍ර හෝ ප්‍රායෝගික මානසිකත්වය කුමක්දැයි කියා මා හට පහදා දෙන්නේ නම් මැනවි. මන්ද ලිඳ ඇතුලේ සිටින මා වැනි මැඩියෙකු ගැන වඩා පැහැදිලි දැක්මක් ලිඳට උඩින් එබී බලන ඔබට ඇති බව විශ්වාස කරමි.

නාමල් උඩලමත්ත said...

විමසුවයි යමෙක් යා නම් නරකාදී
මට සුවයි එහි මැ යනු වෙනතෙකැ නෑදී
(කුමාරතුංග මුනිදාස මහතා)

රටට අවැසි ඔබ වන් ළිං මැඩියන් ය.‍මහ දැන මුත්තකු වී උපන් බිමට බරක් වනවාට වඩා ළිං මැඩියෙකු වී යුතුකම් ඉටු කොට තැබීම මැනවි!!!