ඉංගිරිසි නණ ලළ

. 2008/08/01
1 comments

ඉංගිරිසියේ නණ ලළ භාවිතයක් නැතැයි යමෙකු තර්ක කල හැක. නමුත් ඊට සමාන වෙනත මාදිලියේ ව්‍යාකරණ නීති හෝ භාෂා රීතින් එහි දැකිය හැක.
Where යන්නට Wear යනුවෙන් ලිවීමෙන් ද Male යන්න Mail යනුවෙන් ලිවීමෙන් ද අරුත් සුන් මෙන්ම ගැටළු සහගත ව්‍යාකරණ රටාවක් ඉස්මතු වේ.
සිංහල භාෂාවේ නණ ලළ භේදය අපගේ වහරට ආවේණික වූ ඉහත කී ආකාරයේ එක් රීතියක් අනුගමනය කරයි.
පසුගිය කාලයේ සිංහලයේ නණ ලළ වැරිය යුතු යැයිද ඉංගිරිසිය උතුම් යැයිද දෙඩු පඬීණ් මෙයට පිළිතුරු දෙන්නේ නම් මැනව යැයි හඟිමි.

පශ්චාත් දික්කාසාද වාදය!

. 2008/07/06
0 comments

පෙරවදන
ලාංකිකයන්ගේ අනන්‍යාතාවයේ කොටසක් ලෙස වහල් මානසිකත්වය ගෙනහැර දැක්වීමට තරම් අප ජාතිභිමානයෙන් හීන වී සිටින්නෙමු.

පසුබිම
අදින් වසර 60 කට පෙර සුද්දා විසින් ලංකාමාතාව හැර දමා ඇයට දාව උපන් දරු සිඟිත්තන් හට පිය සෙනෙහස අහිමි කොට සිය රට බලා පියමනින ලදි. මෙසේ කටුගෑවි ගිය විවාහයේ කතා පුවත ත් අනාථ වූ දරුවන්ගේ අනන්‍යතා අරගලයත් පිළිබඳව තැබෙන කෙටි සටහනකි.

දික්කසාදයෙන් පසුව ඇරඹෙන්නේ සැමියා හැරගිය බිරියන්ගේ ලතැවීම්, විලාප හා කඳුළින් සුසුමින් සලකුණු වූ යුගයකි. අදහාගත නොහැකිවා සේ අදටත් තමා හැරගිය සැමියාගේ මඟුල් මුදුව පළඳින බිරියන් ද අපමණය. උදා -සිංහල වචනතරට ඉංගිරිසිය මුහු කරමින් කතා කරන්නන්

ජාතක වූ දරුවන්ගේ අනන්‍යතා අරගලය
යටත්විජිත දිනයක් සමරණ ජාතිකාභිමානය හීන වී ගිය ජාතියක නායකත්වය පරගැති මානසිකත්වයේ අග්‍රගණයේ නිෂ්පාදනයකි. එම නායක පැලැන්තිය පිළීඹිඹු කරන්නේ සුද්දාගේ හැඩරුවයි, නිරූපණය කරන්නේ කටුගෑවි ගිය කසාදයෙන් අනාථ වූ දරුවන්ගේ චිත්ත පීඩාවයි. (ලංකාවේ දේශපාලනය හසුරුවන්නන්ගේ සමාජ චර්‍යාවන් අධ්‍යයනය කිරීමෙන් මෙය වටහා ගත හැකි)

ජාතික වහල් ව්‍යාපාරය
ජාතික නිවහල් ව්‍යාපාරයක් වෙනුවට ඇරඹෙන්නේ ජාතික වහල් ව්‍යාපාරයකි. මහා පරිමාණයෙන් න්‍යායයන් නිෂ්පාදනය කරමින් ගෝලීයකරණය වන ලෝකයක් තුල ජාතික අනන්‍යාතාවයන් දිය කල හැරිය යුතු බව කියාපාති. හැරගිය සැමියාගේ අනන්‍යාතාවය නිරූපණය කෙරෙන සංස්කෘතීන් වැළඳගනිති. මෙසේ විමසන විට පැහැදිලි වන එක් කරුණක් නම්, ජාතික වහල් ව්‍යාපාරයට උරදෙන්නේ අනන්‍යතා අර්බුදයකට ලක් වී ඇති අනාථ දරුවන් බව ය.

පශ්චාත් දික්කාසාද වාදය!
ඉතාම සංක්ෂිප්තව ඉහත දක්වන ලද කරුණු ඇසුරෙන්

සුද්දාගේ හැරයාමෙන් පසුව පරගැති මානසිකත්වයේ මුදුන් මල් කඩක් වැනි වූ පාලක පංතියක ව්‍යාප්තිය සහ එම පැලැන්තිය පෝෂණය කරන රදළ/මුදළාලි පැලැන්තිය
සහ ඉහත පංතීන්ගේ රැකවරණය පතන අනාථ වූ දරුවන් හෙවත් අනන්‍යතා අර්බුදයට ලක්වූවන්

යනුවෙන් හඳුනාගත හැකි සමාජ ස්ථරයන්ගේ හැසිරීම විග්‍රහ කෙරෙන වාදය පශ්චාත් දික්කසාද වාදයයි!

විනාශය නිෂ්පාදනය කිරීම!

. 2008/06/26
4 comments

විනාශය නිපදවීම හා වෙළඳාම තම ජීවනෝපාය කරගැනීම කොතරම් දුරකට ලාභදායක ද?

සිගරට්
වැඩිහිටි මරණ දහයකින් එකකට වගකිව යුතු, වලක්වාගතහැකි, 20වන ශතවර්ෂයේදි පමණක් මරණ මිලියන 100 කට දායක වූ (ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරිනි) සිගරට් ඉරීම නොහොත් විනාශය වෙළඳාම් කරන සිගරට් නිෂ්පාදකයන්ගේ වගතුග ගැන කෙටි වදන් කිහිපයක් ලියමි.

ලෝක සිගරට් වෙළඳපොළ විමසුව විට පෙනී යන කරුණක් නම්, ඉන් 31.3% කට ඇමරිකාව ද, 44.9 කට යුරෝපය ද අයිතිවාසිකම් කියන බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ථා පෙන්වා දෙන්නේ සිගරට් උරන්නන්ගෙන් 84% ක්ම වෙසෙන්නේ දියුණුවෙමින් පවතින රටවල බවයි.

අධ්‍යයන වාර්ථා අනුව දියුණුවෙමින් පවතින රටක පවුලක මුළු ආදායමින් 10%ක් සිගරට් ඉරීම සඳහා යොදවයි. ඒ අනුව ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපන ආදි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා කෙරෙන වියදම අඩුවේ.

අත්‍යවශ්‍ය බෝග වගාකිරීමට ඇති ඉඩම් අත්පත් කරගැනීමෙන් ලෝක ආහාර අර්බුදය සඳහා කෙලින්ම දායක වේ.

ඇමරිකාවේ සහ යුරෝපීය රටවල ජනයා සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වීමත් සමග ම සිගරට් වෙළෙන්දන්ට තම වෙළඳපොළ සංරක්ෂිත කරගැනීමට උපාය මාර්ග සෙවීමට සිදුවිය. (සුද්දන් ජීවත්වන රටවල යුද්ධ නොමැතිවීමද, අවිආයුධ වෙළෙන්දන් එම කලාපයෙන් ඔබ්බට ගොස් වෙළඳාම් කිරීමද මෙවැනිම කටයුත්තකි) ඒ අනුව ආසියානු හා අප්‍රිකානු කලාපීය රටවළ වෙළඳ දැන්වීම් හා උපක්‍රමික දිරිගැන්වීම් තුලින් තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට හැකි විය. සිගරට් උරන්නන්ගෙන් 84% ක් තුන්වන ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.

ජනමාධ්‍යය
අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ BAT (British American Tobacco) මගින් ගෙනගිය උපක්‍රම කිහිපයක් නම්, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිවාස, සුඛෝපභෝගී වාහන පිළිගැන්වීම, සිගරට් ඉරීමට පක්ෂව පුවත්පත් ලිපි පලකරන ජනමාධ්‍යය කරුවන් සහ පුවත්පත් කතුවරුන් හට විනෝදචාරීකා, මුදලින් තෑගි පිරිනැමීම වැනි දේ ය. මෙයට අපේ දූපතෙන් ගතහැකි මතක ඇති කාලයේ උදාහරණය - Osteoporosis වැළැක්වීමට කියමින් කිරිපිටි අලෙවිය සඳහා කඩේ ගිය ජනමාධ්‍යා වේසාවන් සහ වෙදනරුමයින්!